>

Party Principles

මූලධර්මය - 1 ව්‍යවසායකත්ව රාජ්‍යයක් සහ නවෝත්පාදනය


ව්‍යවසායකත්ව රාජ්‍යයක්

ක්‍රියාකාරී මෙන්ම ව්‍යවසායකත්ව රාජ්‍යයකට ආර්ථික වර්ධනය හා තාක්ෂණික නවෝත්පාදනය කරා යාමේදී තීරණාත්මක භූමිකාවක් ඉටුකළ හැකි බව මව්බිම ජනතා පක්ෂයේ(MJP), පිළිගැනීමයි. එහිදී නියාමකයකට සීමා නොවෙමින් ව්‍යවසායකත්වය හා නවෝත්පාදනය උදෙසා හිතකර පරිසරයක් ඇතිකිරීම වෙනුවෙන් රාජ්‍ය සක්‍රිය භූමිකාවක් ඉටුකළ යුතුය.

ප්‍රතිපත්තිමය මුලපිරීම්

ව්‍යවසායකත්වය හා තාක්ෂණික නවෝත්පාදනය දිරිගැන්වීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා මව්බිම ජනතා පක්ෂය (MJP) කැපවනු ඇත. එය දියත් කිරීමේදී හිතකර බදු ප්‍රතිපත්තියක්, නිරවුල් රාජ්‍ය ක්‍රියාපටිපාටියක් මෙන්ම තාක්ෂණික දියුණුව ළඟා කරගැනීම සඳහා අවැසි යටිතලපහසුකම් වෙනුවෙන් ආයෝජනය හා නව නිර්මාණකරුවන් සුරක්ෂිත වන පරිදි ශක්තිමත් බුද්ධිමය දේපළ අයිතීන් රාමුවක්ද ඊට අයත්ය.

රාජ්‍ය ආයෝජනය

බොහෝවිට පුද්ගලික ආයෝජකයන්ගේ අවධානයට හසුනොවන වැඩි අවදානමක් සහිත මෙන්ම වඩාත් ඵ්‍රතිඵලදායි තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා ඍජු රාජ්‍ය ආයෝජන යොමු කෙරේ. තාක්ෂණික සංවර්ධනයේ මුල් අදියර සඳහා අරමුදල් සම්පාදනය මෙන්ම තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් සඳහා සහය ද අනුබල දීමද සිදුවේ. එසේම, නවෝත්පාදන තාක්ෂණ නිමැවුම් සඳහා ද එවැනි ව්‍යාපාර සඳහා ද උපකාර වනු ඇත.

රාජ්‍ය-පුද්ගලික සම්බන්ධතාව

තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ රාජ්‍ය-පුද්ගලික සම්බන්ධතාව දිරිගන්වනු ඇත. ගතිකත්වමය වශයෙන් පුද්ගලික අංශය සතු ගාමකබලය හා රාජ්‍ය සම්පත් ජවසම්පන්න තාක්ෂණික පරිසර පද්ධතියක් වෙනුවෙන් යෙදවේ. එසේම, රාජ්‍ය දත්ත කාණ්ඩ තාක්ෂණික නවෝත්පාදනය පෙළඹවීම පිණිස බෙදාගනු ඇත.

නවෝත්පාදනය

ආර්ථික දියුණුව ළඟාකර ගැනීමේදී ද, ඵලදායිතාව ඉහළනැංවීමේදී ද, සමාජයීය යහපැවැත්ම වර්ධනය කිරීමේදී ද, ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ තරඟකාරිත්වයට ජාතිකයක් ලෙස මුහුණදීමේදී ද තාක්ෂණික නවෝත්පාදනය කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරන බව මව්බිම ජනතා පක්ෂය :ඵන්‍ඡ* අවධාරණය කරන්නේය.

නවෝත්පාදන ප්‍රවර්ධනය

මව්බිම ජනතා පක්ෂය(MJP), නවෝත්පාදන හිතකාමී පරිසරයක් වෙනුවෙන් කැපවේ. එමඟින් පුද්ගලයන්, ව්‍යාපාර සහ ආයතන තාක්ෂණික සීමාවන් ජයගැනීම සඳහා දිරිගැන්වෙනු ඇත. එසේම, එය පර්යේෂණ හා සංවර්ධනය සඳහා අනුබලදීමක් ද නවෝත්පාදන ව්‍යාපාර ආකෘතීන් හා භාවිතාවන් සඳහා අනුග්‍රහය දැක්වීමක් ද නව තාක්ෂණය කරා අනුවර්තනය වීමේදී වඩාත් නම්‍යශීලීව එය සිදුවීම සඳහා නියාමන පරිසරයක් ඇතිකිරීම වෙනුවෙන්ද වැදගත්ය.

අධ්‍යාපනය හා පුහුණුව

ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් නැංවීමත් ඩිජිටල් ආර්ථිකයක පුරවැසියන් ශක්තිමත් කිරීමක් නවෝත්පාදනය සඳහා දායක කර ගැනීමත් වෙනුවෙන් පුහුණු රාමුවක් ඇතිකිරීමට ක්‍රියා කිරීමත් මෙහිදී අදාළය. මේ යටතේ STEM අධ්‍යාපනය, කෝඩින් ආරම්භක පුහුණු කඳවුරු අඛණ්ඩ ඉගෙනුම් වැඩසටහන් සහ ප්‍රායෝගික මෙන්ම කර්මාන්ත සඳහා අදාළ වන්නා වූ පුහුණුවක් ලබාදීමට තාක්ෂණික සමාගම් හවුල්කර ගැනීමත් කළ හැකිවනු ඇත.

සමාජගත නවෝත්පාදනය

ජීවිතයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සහ සමාජගත අභියෝග ජයගැනීම වෙනුවෙන් තාක්ෂණ හා නවෝත්පාදනය ගාමක බලයක් ලෙස යොදාගැනීමට ක්‍රියා කෙරෙනු ඇත. එමඟින් රාජ්‍ය සේවය නැංවීම සඳහා ද නාගරික ජීවිතයේ උන්නතිය වෙනුවෙන් සුහුරු නගර ක්‍රිියාන්විතයක් දියත් කිරීම සඳහා ද දේශගුණික විපර්යාස, සෞඛ්‍ය රැකවරණය සහ අධ්‍යාපනය ආදී ගැටළු නිරාකරණය කර ගැනීම සඳහාද නවෝත්පාදන තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමද කළ හැකිවේ.

මව්බිම ජනතා පක්ෂය(MJP), සියලු පුරවැසියනට ස්වකීය ආර්ථික තත්වය දියුණු කරගැනීම සඳහා අවශ්‍ය මෙවලම් මෙන්ම අවස්ථාද ඇති පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි යොමුවනු ඇත. ඒ සඳහා අනුගමනය කරන ප්‍රමුඛ උපායමාර්ග ඔස්සේ රැකියා අවස්ථා නිර්මාණය දිරිගැන්වීම, ආදායම් උත්පාදන ධාරිතාව ඉහළ නැංවීම, ආදායම් විෂමතාව අවම කරගැනීම, නොවැදගත් සේ සළකන වරප්‍රසාද නොලත් කණ්ඩායම්වල ආර්ථික තත්වය දියණුකිරීම ද සිදු වේ.

රැකියා බිහිකිරීම

තාක්ෂණය කෙරෙහි යොමුවූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ (SMEs) වර්ධනය දිරිගැන්වීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්ති අවධාරණය කිරීම සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්ව ජීවගුණය රැකගැනීම.

ආදායම් උත්පාදනය

පුද්ගල වශයෙන් තාක්ෂණික නිපුණතා සහ හැකියාවන් දියුණුකිරීම සඳහා වැඩසටහන් හඳුන්වාදීමත්, තාක්ෂණය විසින් හසුරුවන්නා වූ රැකියා වෙළෙඳපොළට වඩාත් තරඟාරීව යොමුවෙමින් ඩිජිටල් යුගයේ ආර්ථික අවස්ථා අත්කරගැනීමට ඔවුන් සවිබලගැන්වීම. ඊට කෝඩින් ආරම්භක පුහුණු වැඩසටහන්, තාක්ෂණාභිමුඛ වෘත්තීය පුහුණු වැඩසටහන්, තාක්ෂණ සමාගම්වල ආධුනික පුහුණුව හා තාක්ෂණය කේන්ද්‍රකරගන්නා වූ යාවජීව ඉගෙනුම් ක්‍රියාන්විතයන් ඇතුළත්ය.

සමස්ත වර්ධනය

තාක්ෂණ ක්ෂේත්‍රයේ ආර්ථික වර්ධනය මගින් අත්වන ප්‍රතිලාභ සමාජයේ සෑම තලයකටම බෙදීයන පරිදි ප්‍රතිපත්ති වැඩදියුණුකිරීම. මීට තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයන් සඳහා ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්ති හඳුන්වාදීම, තාක්ෂණය හේතුවෙන් අවතැන්වන තැනැත්තන් සමාජ ආරක්ෂණ ජාලයකට ඇතුළත් කරගැනීම, තාක්ෂණ අවකාශය තුළ නොවැදගත් සේ සලකන වරප්‍රසාද නොලත් සමාජ කොටස්වල ආර්ථික තත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

නවෝතපාදන විධි

මෙම මූලධර්මය මගින් ආර්ථික වර්ධනය බලගැන්වීම, ඵලදායිතාව ඉහළනැංවීම සහ ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ තරගකාරිත්වය පවත්වාගැනීිම වෙනුවෙන් තාක්ෂණික නවෝත්පාදනය සතු තීරණාත්මක භූමිකාව අවධාරණය කෙරේ.

ව්‍යාපාර නවෝත්පාදනය

පුද්ගලික අංශයේ තාක්ෂණික නවෝත්පාදනය උත්තේජනය කිරීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙනු ඇත. මේ යටතේ තාක්ෂණය කෙරෙහි යොමුවූ පර්යේෂණ හා සංවර්ධනය දිරිගැන්වීම, තාක්ෂණික ඇරැඹුම් සහ සමාගම් සඳහා නවෝත්පාදන තාක්ෂණය යොදාගැනීමට සහායවීම, ඩිජිටල් තලයක නවෝත්පාදන ව්‍යාපාර මාදිලි හා භාවිතාවන් දිරිගැන්වීම සිදුවනු ඇත.

රාජ්‍ය සේවයේ නවෝත්පාදනය

රාජ්‍ය සේවා සහ මෙහෙයුම් දියුණුකිරීම වෙනුවෙන් නවෝත්පාදන තාක්ෂණය උපයෝගීකර ගැනීම. මීට ඩිජිටල් රාජ්‍ය මුලපිරීම් ද ඇතුළත්ය. විශාල දත්ත ගොනු භාවිතය හා කෘත්‍රිම බුද්ධිය (AI), ප්‍රතිපත්ති සම්පාදනය හා සේවා බෙදාහැරීම, ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී ඩිජිටල් වේදිකාවක් හරහා පුරවැසියන් සම්බන්ධ කර ගැනීම ද අයත්ය.

නවෝත්පාදන සංස්කෘතියක් ඇති කිරීම

සමාජය, අධ්‍යාපන පද්ධතිය, ව්‍යාපාර ක්ෂේත්‍රය සහ රජය යන සෑම අංශයක් අදාළ කරගනිමින් නවෝත්පාදන සංස්කෘතියක් ඇතිකිරීම සඳහා කටයුතු කිරීම මෙහිදී අදාළය. මීට සංඛ්‍යාත්මක චින්තනය සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය, තාක්ෂණික නවෝත්පාදනයේදී අවදානම බාරගැනීමට දිරිගැන්වීම, තාක්ෂණය ප්‍රේරණය කරන්නා වූ නවෝත්පාදන ජයග්‍රහණයන් පිළිගැනීමට හා ඇගයීමට ලක්කිරීම ඇතුළත්ය.

ආර්ථික සවිබලගැන්වීම හා නවෝත්පාදනය යන දෙයාකාරයේම අවසන් ඉලක්කය විය යුත්තේ පුද්ගලයන් හා ව්‍යාපාර යන දෙඅංශයම ගාමක බලයක් වෙමින් සමෘද්ධිමත් සාධාරණ සහ ධරණීය ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා තාක්ෂණය හැසිරවීමට හැකි සඵලදායි පරිසරයක් නිර්මාණය කිරීමය.



මූලධර්මය - 2 - ජාතික සමගිය හා ඒකීය රාජ්‍යයක්


ඒකීය රාජ්‍යයක්

අපේ පක්ෂයේ අචල ස්ථාවරය ඒකීය ශ්‍රී ලංකාවකි. අපි සෑම ආකාරයකම බෙදුම්වාදය දැඩිව ප්‍රතික්ෂේප කරන්නෙමු. අපේ දේශයේ භෞමික අඛණ්ඩතාව අප දැඩි ලෙස ආරක්ෂා කරන අතර, දේශසීමාවන්ගේ අනුල්ලංඝණීය බව වෙනුවෙන් පෙනී සිටී. අප පිළිගන්නා පරිදි දේශභූමිය යනු ජාතියක අනන්‍යතාව කියාපාන්නා වූ ප්‍රමුඛ සාධකයකි. එය රැකගැනීම අපේ පක්ෂයේ මූලික වගකීමක් ලෙස අපි සලකමු. භෞමික අඛණ්ඩාතාව වෙනුවෙන් අපේ කැපවීම ජාතික සමගිය වෙනුවෙන් අපේ කැපවීම සමග වෙළී පවතී. මේ අචල විශ්වාසය හා බද්ධව ශ්‍රී ලංකාව් දිදුලන විවිධත්වය සහ සෑම වාර්ගික, සංස්කෘතික සහ ආගමික කොටසකම එකිනෙකා කෙරෙහි ඇති ගරුත්වය අපේ ජාතිය පොහොසත් කරන්නේය. බෞද්ධ දර්ශනයෙන් ලැබූ ආලෝකය ඔස්සේ අප දිරිගැන්වීමට අපේක්ෂා කරන්නේ සියලු ශ්‍රී ලාංකිකයන් අතර අනනෝන්‍ය පිළිගැනීම හා හිමිකම් පිළිබඳ හැඟීම් බෙදාහදාගැනීමයි. ඒ ඔවුන්ගේ පසුබිම නොතකා හරිමිනි. බෙදීම් ප්‍රතික්ෂේප කරමින් හා සාමූහිකත්වය අවධාරණය කරමින් අප වර්ධනය කිරීමට අපේක්ෂා කරන්නේ එක්සත් ජාතික අනන්‍යතාවය. එකී ගාමක බලය ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් පරිණාමය වෙමින් ඇති ලෝකයේ සමෘද්ධිමත් ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙන යාමට හේතු වනු ඇත.

මව්බිම ජනතා පක්ෂය(MJP) බුදුදහමේ සහ අනෙකුත් ආගම්වල සාර දර්ශනයන් සමග ගැඹුරු ලෙස සම්බන්ධය. සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජනවර්ග යන මේ සියලු කොටස් අතර එකමුතු සහජීවනය වෙනුවෙන් ඒ සියලු ආගම් මඟ පෙන්වන්නේය. අනෝන්‍ය පිළිගැනීමේ, තේරුම්ගැනීමේ, සාමූහිකත්වයේ ඇති වටිනාකම ඉන් අවධාරණය කෙරෙන්නේය. ඔවුන්ගේ වාර්ගික හෝ ආගමික පසුබිම නොතකා හරිමින් හිමිකාරිත්වය පිළිබඳ සාමූහික හැඟීම් ඉන් දිරිගැන්වෙන්නේය.

සංස්කෘතික පිළිගැනීම සහ අගය කිරීම

සියලු ජීවීන් කෙරෙහි සැළකිල්ලක් දැක්වීමේ සහ අන්තර්පරායත්තතාව පිළිගැනීමේ බුදුදහමේ දැක්වෙන ඉගැන්වීම අනුව යමින් අපේ ප්‍රතිපත්තිමය මූලධර්ම මඟින් දිරිගැන්වෙන්නේ ශ්‍රී ලංකාවේ විවිධත්වයෙන් යුතු සංස්කෘතික උරුමයක් සහිත සියලු වාර්ගික කොටස් පිළිගැනීමය. එමඟින් පොදු මහජන හා අධ්‍යාපනික අවකාශයන්හි මෙකී විවිධත්වය සැමරීමට අනුබල දෙන්නේ ය. ඒ විවිධ භාෂා, සම්පූදායන් සහ එකිනෙක වාර්ගික කණ්ඩායම්වල සිරිත් විරිත් ආදිය අපේ ජාතික අනන්‍යතාවයේ අත්‍යන්ත මුහුණුවරක් ලෙස දකිමිනි.

සමාන ඉඩප්‍රස්ථා

හෙළා නොදැකීම සහ සමානාත්මතාව පිළිබඳ පුරාතන ලංකාවේ ආචාරධර්මවල පිළිබිඹුව ඔස්සේ කිසිවෙකුගේ වුව වාර්ගිකත්වය හා ආගම නොතකාහරිමින් සමාන ඉඩප්‍රස්ථා සැළසීමට අප දැඩි ලෙස පරිශ්‍රම දරනු ඇත. අපේ ඉලක්කය, රාජ්‍ය සේවය, රැකියාව, සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් සෑම ආකාරයකම නොතකාහැරීම් මුලිනුපුටා දැමීමය. එසේම, සෑම සමාජ තලයක්ම නියෝජනය වන අයුරින් සමාන ලෙස සම්පත් බෙදීයාමය.

සංහිඳියාව සහ සාමය ගොඩනැගීම

මව්බිම ජනතා පක්ෂය (MJP), සාමය, සහකම්පනය, දයානුකම්පාව සහ සමාවදීම පිළිබඳ විශ්වාසය තබා ක්‍රියාකරන පක්ෂයකි. ඓතිහාසික ගැටුම්වලට විසඳුම් දීමේ තීරණාත්මක වැදගත්කම පිළිගන්නා අප සැබෑ සංහිඳියාවක් ගොඩනැගීම වෙනුවෙන් අනුග්‍රහ දක්වන්නේය. විවිධ වාර්ගික කණ්ඩායම් අතර අනනෝන්‍ය අවබෝධය සහ සංවාදය දිරිගැන්වීමට අප ක්‍රියාකරනු ඇත. යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ගවලට උත්තේජනයක් ලබාදෙමින් පැරණි තුවාල සුවපත් කිරීම යනු සාම සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කිරීමකි.

අදාළ ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය

ප්‍රතිපත්ති හඳුන්වාදීම හා නීති සම්පාදනය මඟින් සියලු වාර්ගික කණ්ඩායම්වල අයිතීන් ඔසොවා තැබීම හරහා සමාජ සහජීවනය පෝෂණය කිරීම අපේ ඉලක්කයයි. වෛරීය ප්‍රකාශයන්ට එරෙහිව නීතියේ රැකවරණය ලබාගැනීමට ද වාර්ගික සමානාත්මතාව තහවුරු කිරීමටද, ඒකාබද්ධතාව දිරිගැන්වීමටද ක්‍රියාකිරීම ප්‍රමුඛතා වනු ඇත.

ප්‍රජා නියෝජනය

අප විශ්වාස කරන්නේ ප්‍රජා ජීවිතයක් සහ හවුලේ බෙදීයන්නා වූ වගකීම ගැනය. එහිදී, විවිධ වාර්ගික පදනම්වලින් යුතු ජනකොටස් සමෝධානය කරන්නා වූ ප්‍රජා ක්‍රියාන්විතයන් දිරිගැන්වීමට අප කටයුතු කරනු ඇත. එවැනි සහයෝගිතාවක් ගොඩනැගීම මඟින් අන්‍යෝන්‍ය අවබෝධය දිරිගැන්වීමත්, සමගිය හා සවිය ඇතිකිරීමත් සිදුවේ. එකිනෙකා අතර බෙදී යන්නා වූ අපේ සාමූහික කැපවීමේ ශක්තිය සමඟි සම්පන්න ජාතියක් ගොඩනැගීමට හේතුවනු ඇත්තේය.

ජාතික සමඟිය පිළිබඳ මෙම මූලධර්මය ගැඹුරු ලෙස බුදුදහමේ මෙන්ම අනෙකුත් ආගම් මඟින් ද පෙන්වා දෙන්නා වූ ප්‍රඥාව සමඟ සම්බන්ධය. එකිනෙකා අතර බෙදී යන්නා වූ මානව අගනාකම් පසසන අතරම, අපේ වෙනසක්ම්ද පිළිගත යුතුය. එය විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් සහ විශ්වාස වැළඳගනු ඇති අතර, ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුතුව එක්සත් සාමකාමී අනාගතයක් කරා අප මෙහෙයවනු ඇත.



මූලධර්මය - 3 වගකිවයුතු හා ඍජු නායකත්වය,විවෘතභාවය


අපේ අචල පිළිගැනීම වන්නේ සියලු දේශපාලන නායකයන් තම ක්‍රියාමාර්ග තීන්දු තීරණ සහ පසුව එළැඹෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් විවෘත භාවයකින් ක්‍රියාකිරීම පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කළ යුතු බවය. සෑම ආකාරයකම අනිසි පක්ෂග්‍රාහිත්වය, ඥාති සංග්‍රහය මෙන්ම ගජමිතුරුවාදයට එරෙහිව අපි නැගී සිටිමු. අප පෙනී සිටින්නේ සෑම නායකයෙකුගේම පරම යුතුකම කවර හෝ පෞද්ගලික අභිලාෂයකින් මෙන්ම පකෂග්‍රාහිකත්වයකින් තොරව මිනිසුන්ට හා රටට සේවය කිරීමය යන්න වෙනුවෙනි. අප විශ්වාස කරන්නේ සිතාමතාම එය උල්ලංඝණය කරන්නා වූ කවරෙක් වුවද නීතියේ පූර්ණ බලාධිකාරයට යටත්විය යුතු බවය.

විනිවිදභාවය යනු විකල්පයක් නොව අවශ්‍යයෙන්ම අනුගමනය කළයුතු දෙයකි. අපේ නායකයෝ තම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පිළිතුරුදීමට අපේක්ෂා කළ යුතු මෙන්ම ඒවා සාධාරණීකරණය කළ යුතුද වන අතර, ඒවා අවශ්‍යතාව අනුව ගත් නිවැරදි ක්‍රියාමාර්ග බව තහවුරු කළ යුතු වෙති. අප විශ්වාස කරන්නේ නායකයන් ඔවුන්ගේ භූමිකාව අනුව මහජන සේවකයන් ලෙස ක්‍රියා කළ යුතු බවය. ඔවුන් ක්‍රියා කළ යුතු වන්නේ, තම වගකීම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇතිවය. එසේම නිරන්තරයෙන් උපරිම යහපත අරමුණු කරගෙනය.

තවද අපි, අපගේ දේශපාලන චර්යාව සම්බන්ධයෙන් පැහැදිළි විවෘතභාවයකින් කටයුතු කරන්නෙමු. අප ගන්නා වූ ක්‍රියාමාර්ග මෙන්ම තීරණ විනිවිදභාවයෙන් යුතු බවට අප කැපවනු ඇත. එමඟින් සෑම පුරවැසියෙකුටම පැහැදිළිව, නිවැරදිව මෙන්ම කලට වේලාවට තොරතුරු ලබාගැනීමේ ප්‍රවේශය සහතික කෙරේ. අප කැපවන්නේ විවෘත සංවාදය හා විවෘත මනසකින් යුතු වීම සඳහාය. අපගේ විශ්වාසය වන්නේ එවැනි අන්දමේ විවෘත භාවයක් පවත්වා ගැනීමෙන් පමණක් වගකිවයුතු පුරවැසියන් තනන අතරම, දූෂණය අවම කර සිය රටවැසියාට සැබෑ ලෙස සේවය කරන්නා වූ ආණ්ඩුවක් බිහිකරගත හැකිවනු ඇති බවය. විනිවිදභාවයේ ඉහළම ප්‍රමිතියක් පවත්වාගැනීම මඟින් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නා වූ යුක්තිය ඔසොවා තබන්නා වූ සහ ජනතා විශ්වාසය දිනාගන්නා වූ දේශපාලන පරිසරයක් නිර්මාණය කළ හැකි වනු ඇත.



මූලධර්මය - 4 බුද්ධිමය ප්‍රාග්ධනය සහ නිපුණතා වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීම


සාකල්‍ය අධ්‍යාපනය

සෑම අයෙකුගේම සමස්ත සංවර්ධනය ඉහළ නංවන්නා වූ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු. දැනුම ලබා දෙන අතරම, නිර්මාණශීලීත්වය වර්ධනය වූ, චිත්තවේගී බුද්ධිය, විචාරාත්මක චින්තනය මෙන්ම පුළුල් ලෝක දැක්මක් සහිත වූ මිනිසෙක් බිහිකිරීම ඉන් අරමුණු කෙරෙනු ඇත. අපේ ඉලක්කය වන්නේ අපේ පොහොසත් සංස්කෘතික උරුමය මූර්තිමත් කරන්නා වූ සහ අර්ථාන්විතව අපේ දැයට හා ලෝකයට සේවය කරන්නා වු පිරිපුන් මිනිසෙක් බිහිකිරීමය.

කටපාඩම් කිරීමෙන් ඔබ්බට

සම්ප්‍රදායික විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරවීම අපේ ඉලක්කයකි. කටපාඩම් කර මතක තබාගන්නා පුරුද්දෙන් බැහැරවීමට ද ඉන් හැකියාව ලැබේ. අප විශ්වාස කරන පරිදි සෑම දරුවෙකුටම ආවේණික නිපුණතා සහ හැකියාවන් තිබේ. මේවා සම්මත විභාග පරීක්ෂණ මඟින් පමණක් ඇගයීමට ලක්කළ නොහැකිය. එබැවින් සිසුන්ගේ නිර්මාණශීලීත්වය, ගැටළු විසඳීමේ හැකියාව, නවෝත්පාදන චින්තන හැකියාව ආදිය ගැනද මැන බැලීමට හැකි නව ඇගයීම් ක්‍රමවේදයක් ඇතිකිරීමට අප කටයුතු කරනු ඇත.

අනාගත අවශ්‍යතාවන්ට අනුහුරුවක්

අප විශ්වාස කරන පරිදි, අනාගතය අයිතිවන්නේ තාක්ෂණයේ බලයෙන් සන්නද්ධවන පරපුරටය. අපේ ඉලක්කය STEM (S විද්‍යාව, T තාක්ෂණවේදය, E ඉංජිනේරු විද්‍යාව සහ M ගණිතය) අධ්‍යාපනය අපේ විෂයමාලාවේ කේන්ද්‍රීය ලක්ෂ්‍ය බවට පරිවර්තනය කිරීමය. එමඟින් තාක්සණය අතින් ඉහළ නිපුණත්වයක් ඇති මෙන්ම දියුණු ලෝකයට ගැලපෙන පරපුරක් බිහි කළ හැකිවනු ඇත.

වෘත්තීය හා තාක්ෂණික පුහුණුව

අධ්‍යාපනයේ නිම්වළලු සාම්ප්‍රදායික ශාස්ත්‍රීය මංපෙත්වලින් ඔබ්බට පුළුල් කිරීමට අප කැපවනු ඇත. වෘත්තීය හා තාක්ෂණික පුහුණු වැඩසටහන් වෙනුවෙන් අප ආධාර අනුබල දෙනු ඇති අතර, ඒවා තවදුරටත් දිරිගැන්වේ. එමඟින් ප්‍රායෝගික පුහුණුවක් ලබාගනිමින් ඒ ඒ අංශවල නිපුණත්වයක් ලබාගැනීමට පුළුවන. එය වෘත්තිය සුදුසුකම් වැඩිකරගැනීමට මෙන්ම ආත්ම තෘප්තිය පිණිස ද නවෝපාදනය වෙත යොමුවීමට ද දිරිගන්වනු ඇත.

යාවජීව ඉගෙනුම

අඛණ්ඩ අධ්‍යාපනය සතු බලය ගැන අපි විශ්වාස කරන්නෙමු. වැඩිහිටි ප්‍රජාවට තමන් තුළ දැනටමත් ඇති දැනුම හා නිපුණතා තවදුරටත් ඉහළ නංවාගැනීම වෙනුවෙන් සහ අලුත් දැනුම ලැබීමට අවස්ථා උදාකරදීමටද ශීඝ්‍රයෙන් වෙනසට භාජනය වන රැකියා වෙළෙඳපොළට අනුවර්තනය වීම සඳහා මෙන්ම වෘත්තීය අභිවෘද්ධිය උදෙසා මාර්ග විවර කරනු ඇත.

ව්‍යවසායකත්වය දිරිගැන්වීම

ව්‍යවසායකත්වය, ආර්ථික වර්ධනය සඳහා මෙන්ම රැකියා උත්පාදනය සඳහාද යතුර වේ. එකී අර්ථයෙන් ව්‍යවසායකත්ව දැනුම අපේ අධ්‍යාපන ක්‍රමය තුළට සමෝධානය කරනු ඇත. එය නවෝත්පාදනයේ ජීවගුණය ද රැකගනිමින් යොවුන් වියේ පටන්ම ව්‍යාපාර ක්ෂේත්‍රය ගැන නිපුණතාවයක් ඇති කරගැනීමට අවස්ථා සළසනු ඇත්තේය.

මෙම පුළුල් ප්‍රවේශය ඔස්සේ අපේ පුරවැසියන් දැනුමෙන්, ප්‍රායෝගික කුසලතාවන්ගෙන් හා නවෝත්පාදන මානසිකත්වයකින් සවිබලගැන්වීම අපේ අපේක්ෂාවය. එමඟින් ශක්තිමත් ආර්ථික වර්ධනයක් සහ ධරණීය සමාජ සංවර්ධනයක් ළඟා කරගැනීමට මාවත විවර වනු ඇත.



මූලධර්මය - 5 දරාගත හැකි අනාගතයක් වෙනුවෙන් ධරණීය සංවර්ධනය දිරිගැන්වීම


හරිත ආර්ථිකය

අපේ ඉලක්කය හරිත ආර්ථිකයකි. ‘පාරිසරික කාරණා ආර්ථික සැලසුම්කරණයේ හදවත බඳුය’ යන්න අපගේ පිළිගැනීමය. පුනර්ජනනීය බලශක්තිය, අපද්‍රව්‍ය කළමනාකරණය, රැකියා උත්පාදනය කරන්නා වූ අනෙකුත් ධරණීය තාක්ෂණ ක්‍රම, පාරිසරික හානි අවම කිරීම සහ දිගුකාලීනව දරාගත හැකි ආර්ථිකයක් වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.

සම්පත් කළමනාකරණය

වගකීම් සහගත සම්පත් කළමනාකරණය ධරණීයභාවයට අවශ්‍යම සාධකයයි. අපේ භූමිය, ජල සම්පත සහ ජෛවවිවිධත්වය රැකගැනීමත් ධරණීය ලෙස කළමනාකරණය කිරීමත් වෙනුවෙන් අප ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු ඇත. ඊට අධිපරිභෝජනය වැළැක්වීමේද, සංරක්ෂණය දිරිගැන්වීමේද, මානව ක්‍රියාකාරකම් සහ ස්වාභාවික ලෝකය අතර සහජීවනය රැක ගැනීමේද ක්‍රියාමාර්ග ඇතුළත්ය.

දේශගුණික තත්වයන්ට අනුවර්තනය වීම

නිවර්තන දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව, දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් හේතුවෙන් අවදානමට ලක්වන්නේය. එවැනි තත්වයන්ට ඔරොත්තු දීමට හැකිවන අයුරින් දේශගුණික සාධක, විපර්යාස වැනි කාරණා ජාතික සැලසුම්කරණයේදී ද, ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේදී ද අවධානයට ගනු ඇති අතර, දේශගුණික - සුහුරු කෘෂිකර්මාන්තයක් සහ යටිතලපහසුකම් නැංවීම වැනි අනුවර්තනීය ක්‍රියාමාර්ග සඳහා ආයෝජන කිරීම ද සිදුවනු ඇත.

ධරණීය නගර සහ ප්‍රජාවන්

නාගරික ප්‍රදේශ ආර්ථික වර්ධනයේ ‘එන්ජින්’ බඳුය. එසේවුවද වර්තමානය වනවිට ඒවා පාරිසරික අභියෝගද වේ. අප දිරිගන්වනු ඇත්තේ ධරණීය නාගරික සංවර්ධනයයි. ජීවත්වීමට හැකි, දරාගතහැකි මෙන්ම පරිසරයට හානිකර නොවන, යෝග්‍ය රැකියා, නිවාස පහසුකම් හා සේවා සළසන්නා වූ නගර නිර්මාණය අපේ ඉලක්කයයි.

ධරණීය සංවර්ධනය සඳහා අධ්‍යාපනය

ධරණීය සංවර්ධනය කරා මෙහෙයවීමේදී අධ්‍යාපනයට ඇති බලය අපි විශ්වාස කරන්නෙමු. ධරණීය මූලධර්ම ජාතික විෂය මාලාවට ඇතුළත් කිරීමට අප කටයුතු කරනු ඇත. එමගින් අනාගත පරම්පරා ධරණීය ජීවන රටාවක් සඳහා හැඩගස්වනු ඇති අතර, ඔවුන්ගේ ද මිහිතලයේද යහපැවැත්ම පිණිස තීරණ ගැනීමට අවශ්‍ය දැනුම්වත්භාවය ඇති වීම සිදුවේ.

සමාජ සමානාත්මතාව

ධරණීය සංවර්ධනය යනු පරිසරය හා සම්බන්ධ කාරණයක් පමණක්ම නොවේ. එය සාධාරණ මෙන්ම සියල්ලන් ඇතුළත් සමාජයක් සහතික කිරීම පිණිස අදාළය. අසමානකම් අවම කිරීම සඳහා ද, සමාජයීය වශයෙන් සියල්ලන්ගේ නියෝජනය වෙනුවෙන්ද සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාටම බුක්ති විඳීමට හැකිවන පරිදි ද අපි කටයුතු කරන්නෙමු.

මේ මූලධර්ම මඟින් අප ඉලක්ක කරන්නේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රගතිය කරා ළඟා වූ සමාජයීය යහපැවැත්ම ආරක්ෂා වූ මෙන්ම පාරිසරික භාරකාරත්වය එකිනෙකා වෙත පැවරෙන්නා වූ දේශයක් ලෙස පෙරට ගෙනයාමය.



මූලධර්මය - 6 සමාජ ආර්ථික ප්‍රතිපත්ති මඟින් ආත්මවිශ්වාසය වර්ධනය කිරීම


ආර්ථිකමය සවිබලගැන්වීම

අප කල්පනා කරන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ශක්ති සම්පන්න හා දියුණු ආර්ථිකයක හවුල්කරුවන් ලෙස සහභාගිවීමට අවස්ථා තිබීම ගැනයි. එකී අර්ථයෙන් රැකියා උත්පාදනය ප්‍රවර්ධනය සඳහා ද, ව්‍යවසායකත්ව ව්‍යාපාරයන් සඳහා සහායවීම පිණිස ද මූල්‍ය සේවා සඳහා සමාන ප්‍රවේශයන් සැලසීම වෙනුවෙන් ද ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු ඇත. අපේ ඉලක්කය දීමනා ලබාදීම නොවේ. සෑම අයෙකුම තමන්ම ආර්ථිකමය වශයෙන් සාර්ථකවීම සඳහා සවිබලගැන්වීමයි. අප විශ්වාස කරන්නේ තරගකාරිත්වය මගින් අකාර්යක්ෂමතාව, නිලධාරිවාදය සහ දූෂණය අවම කරගතහැකිවනු ඇති බවය. එසේම උගත් තරුණ ප්‍රජාවගේ සහජ කුසලතා මෙන්ම උපරිමය එළිදැක්වෙනු ඇති බවය.

සමාජ ආරක්ෂාව සහ සුබසාධනය

ඇතැම් පුරවැසියන්ට යම් අතිරේක සහායක් අවැසි බව පිළිගනිමින් ශක්තිමත් සුබසාධන ක්‍රමයක් පවත්වාගෙන යාම වෙනුවෙන් අපි කැපවන්නෙමු. කෙසේවුවද, අපගේ එල්ලය ඇත්තේ හුදෙක් ආධාර මත නොව ඉන් ඔබ්බෙනි. අප ඉලක්ක කරන්නේ ජනතාව අඛණ්ඩවම සහනාධාර මත රඳා නොපවතින අයුරින් ඔවුන් නගා සිටුවන ක්‍රමවේදයකි. එමගින් පුද්ගල වගකීම් මෙන්ම ආත්මවිශ්වාසයද දිරිගැන්වෙනු ඇත. අවශ්‍ය සමාජ කොටස් ආරක්ෂණ ජාලයකින් ආවරණය කරගන්නා අතරම, යැපුම් මානසිකත්වයෙන් ඉහළට ඔවුන් ඔසොවා තැබීම අපගේ ප්‍රතිපත්තියයි.

විශ්වීය සෞඛ්‍ය රැකවරණය

සෞඛ්‍ය, මූලික මිනිස් අයිතියක් වන අතරම, කිසිවෙකුගේ වුව ආර්ථික තත්වය මත එය තීරණය නොවිය යුත්තේය. සෑම අයෙකුටම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහතික වන අයුරින් අප කටයුතු කරනු ඇත. එහිදී ඔවුන්ගේ මූල්‍ය තත්වය නොතකා හරිමින් රෝග නිවාරණයේ පටන් මානසික සෞඛ්‍ය සහාය සැලැස්වීම දක්වා එය ක්‍රියාවට නැංවේ.

නවෝත්පාදක අධ්‍යාපනයක් සහ කුසලතා සංවර්ධනය

අප විශ්වාස කරන්නේ අධ්‍යාපනය යනු විභාගයම හෝ සුපුරුදු ඉගෙනුම් ක්‍රියාවලියම නොවන බවය. අපේ අධ්‍යාපන ක්‍රමය විප්ලවීය වෙනසකට ලක්කිරීම අපගේ ඉලක්කයි. එහිදී නිර්මාණශීලීත්වයට අනුබල දෙනු ඇති අතර, විචාරාත්මක මෙන්ම නිදහස් චින්තනයට අවකාශ සැලසීම ද රැකියා වියුක්තිකයන් නොවීම සඳහා ප්‍රායෝගික නිපුණතා අත්කර ගැනීමට සැලැස්වීමද සිදු වේ. තම සමාජ ආර්ථික පසුබිම නොතකා හරිමින් සියලු පුරවැසියනට මෙම ගුණාත්මක අධ්‍යාපන පහසකුම් ලබාගැනීමට මෙන්ම යාවජීව ඉගෙනුම් අවස්ථා සලසා ගැනීමට ද හැකිවිය යුතුය.

ධරණීය සහාය

ශ්‍රී ලංකාව වෙනුවෙන් අපගේ දැක්ම ආධාර යනු දීමනා නොවන නමුත් සවිබලගැන්වීම සඳහා ලබාදෙන මෙවලම් බවය. ඉන් අදහස් කෙරෙන්නේ පුද්ගලයන්, අධ්‍යාපනය, නිපුණතා පුහුණුව සහ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළට ගැනීම සඳහා සම්පත් ආදිය ලබාදෙමින් ඔවුන් සූදානම් කිරීමය. එහිදී, ශිෂ්‍යත්ව, රැකියා පුහුණුව, කුඩා ව්‍යාපාර ණය, ආදී සහායන් අප ලබා දෙනු ඇත. ඒ සියල්ල සැලසුම් කර ඇත්තේ පුද්ගල නිදහස හා ස්වශක්තියෙන් නැගීසිටීම දිරිගැන්වීම පිණිසය. අප වෑයම් කරන්නේ රජය මත හෝ දේශපාලන ආධාර මත රඳා නොපවතින සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමටය. එමෙන්ම ස්වශක්තිය මත රඳා පැවතීමේ ජීවගුණයත්, පුද්ගල සවිබලගැන්වීමත් දිරිගැන්වීමටය.

මේ මූලධර්ම මගින් අප ඉලක්ක කරන්නේ සමාජ ආර්ථික වශයෙන් ඉහළට එසවෙන්නා වූ සමාජයක් නිර්මාණය කිරීමය. එවැන්නක නියෝජනය වන සියලු දෙනා අපේ සාමූහික සාර්ථකත්වයේ හවුල්කරුවන් වනවා පමණක් නොව එහි ප්‍රතිලාබ බුක්ති විඳින්නන්ද විය යුතුවන්නේය.



මූලධර්මය - 7 සමබර ගෝලීය බැඳීමක්: අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායි සම්බන්ධතා හඹා යෑම


අපේ පක්ෂය ශ්‍රී ලංකාවේ තීරණාත්මක ලෙස වැදගත් භූගෝලීය පිහිටීම පිළිබඳ කාරණය තේරුම්ගනී. ඒ හේතුවෙන් වන වගකීම්ද එපරිදිමය. උපායමාර්ගික සබැඳියක පිහිටා ඇති රාජ්‍යයක් ලෙස කලාපීය සහ ගෝලීය එකමුතුබව වෙනුවෙන් වැදගත් භූමිකාවක් ඉටුකිරීමේ විභවය අප සතුය.

අසල්වැසි සහයෝගිතාව

අපේ සමීපතම අසල්වැසියා මෙන්ම ලොකු අයියා ද වන ඉන්දියාව සමග අප සමීප සහයෝගිතාවක් පවත්වාගත යුතු අතර, අනෝන්‍ය ගරුත්වයක් සහිතව ක්‍රියා කළ යුතුය. සංස්කෘතිකමය, ආර්ථිකමය හා දේශපාලනික වශයෙන් රාජ්‍යයන් දෙකටම ප්‍රතිලාභ සැලසෙන පරිදි සමීප සබැඳියාවක් පවත්වා ගත යුතු වේ.

ආසියානු බලවතුන් සමග බැඳීම

කලාපීය ස්ථාවරත්වය හා උන්නතිය වෙනුවෙන් චීනය සහ ජපානය වැනි ආසියානු සුපිරි බලවතුන් ඉටුකරන ප්‍රධාන භූමිකාව අපේ පිළිගැනීමට ලක්වේ. මේ ජාතීන් සමග අප සක්‍රිය ලෙස බැඳෙනු ඇත්තේ සහයෝගිතාවයේ ජීවගුණයත් ශ්‍රී ලංකාවේ අභිලාෂයන් සමබර ප්‍රවේශයකින් පවත්වා ගැනීම මගින් සුරක්ෂිතවනු ඇත යන්නත් මත පිහිටාය. ඒ, කලාපීය සමෘද්ධිය වෙනුවෙන් වන අපගේ දායකත්වයත් සමගය.

ගෝලීය සම්බන්ධතා

ආසියාවෙන් ඔබ්බට අප, අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ රුසියාව වැනි ගෝලීය බලවතුන් සමග අර්ථාන්විත සබඳතාවන් පවත්වාගත යුතුය. අපේ අන්තර්ක්‍රියාවන් මත අන්‍යෝන්‍ය පිළිගැනීම, තේරුම්ගැනීම හා වඩාත් සාමකාමී මෙන්ම සමෘද්ධිමත් ලෝකයක් පිළිබඳ හවුල්කාරී අරමුණද රඳා පවතිනු ඇත.

මධ්‍යස්ථ පක්ෂපාතිත්වයක්

ජාතියක් ලෙස අප සැක උපදවන අන්දමින් කිසිදු ගෝලීය පාර්ශ්වයක් සමග නොබැඳෙනු ඇත්තේය. එසේ නමුත්, ශ්‍රී ලංකාවත්, අපේ ජනතා අභිලාෂයන් වෙනුවෙනුත් මධ්‍යස්ථ ලෙස හා මහත් ඕනෑකමින් යුතුව තීරණ ගනු ඇත.

ලෝකයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීම

ගෝලීය ප්‍රජාව වෙනුවෙන් අපගේ කැපවීම පිළිබඳ අපි සහතික කරන්නෙමු. අපේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් මඟින් දේශගුණික විපර්යාස, මානව හිමිකම් හා ධරණීය සංවර්ධනය වැනි ගෝලීය කටයුතු සම්බන්ධයෙන් ධනාත්මක ලෙස දායකවීමේදී අපේ කැපවීම පිළිබිඹු වනු ඇත්තේය.

ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි දී අප පවත්වා ගැනීමට අපේක්ෂා කරන්නේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය වර්ධනය වන්නා වූ මෙන්ම අන්‍යෝන්‍ය වර්ධනය පිණිස හේතුවන්නා වූ මධ්‍යස්ථ ස්ථාවරයකි. අපේ ඉලක්කය ගෝලීය දේශපාලනය නම් අසීරු සමුදුරු දියේ නෞකාව දක්ෂ ලෙස හා ප්‍රවේශම්කාරීවද විශ්වාසයෙන් යුතුව ද හැසිරවීමය. එසේම, විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය හා පොදු අභිලාෂයන් මත ගොඩනැගී සම්බන්ධතා පෝෂණය කිරීමය.

සාරාංශය

අපේ පක්ෂය මුළු හදවතින්ම කැපවන්නේ ව්‍යවසායකත්වය හා නවෝත්පාදනය වැළඳ ගන්නාවූද පෝෂණය කරන්නාවූද රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙනි. එය ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය සමග ගැඹුරින් සම්බන්ධය. අපි අපේ මිනිසුන්ගේ නිර්මාණශීලීත්වය සහ තාක්ෂණයේ පරිණාමන බලය ගැන විශ්වාසය තබා ඇත්තෙමු. අපේ දැක්ම, ඉදිරිගාමී චින්තනයකින් හා නවෝත්පාදනය කෙරෙහි යොමුවූ ව්‍යවසායකත්ව ජීවගුණයෙන් යුතු මෙන්ම සම්ප්‍රදායික අගනාකම් හා සිරිත් විරිත් කැප නොකරන්නා වූ සමාජයක් නිර්මාණය කිරීමය.

අප අපේක්ෂා කරන්නේ තම අයිතීන් පිළිබඳ පමණක් දැනුවත් පුරවැසියන් සිටින සමාජයක් නොව තම සහෝදර රටවැසියන් හා රට වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු මෙහෙවර ගැනද දැනුම්වත්ව ක්‍රියාකරන පුරවැසියන්ගෙන් යුතු සමාජයකි. ඉන් ගොඩනැගෙන්නේ සාධාරණ, වගකීම් සහගත, සහෝගීතාවෙන් යුතු, පුද්ගල නිදහස හා සමාජයීය යහපැවැත්ම අතර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සියල්ලන්ම තේරුම් ගන්නා ප්‍රජාවකි.

අධ්‍යාපන විෂය පථයේදී අපේ ඉලක්කය වන්නේ සාම්ප්‍රදායික විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය විප්ලවීය වෙනසකට ලක්කිරීමය. එසේම, නිදහස් මෙන්ම විචාරාත්මක චින්තනයෙන් යුතුවූද නිපුණතා සංවර්ධනය කරා යොමුවූද සංස්කෘතියක් ඇති කිරීමය. අප විශ්වාස කරන්නේ තොරතුරු හා සිද්ධාන්තවලින් පමණක් පිරුණු මනස් නොව නවෝත්පාදක චින්තනයෙන් හා ගැටළු නිරාකරණ හැකියාවෙන් පෝෂණය වූ මනස්ය. අපේ සංවර්ධන ප්‍රවේශය ධරණීය ය. එය ආර්ථික වර්ධනයත් සමග මුසුවන්නේ පරිසර සංරක්ෂණය ද සමගය. දිගුකාලීනව සමෘද්ධිය හා කෙටිකාලීන ප්‍රතිලාබ සමබරව පවත්වා ගැනීමේ වැදගත්කම අපි තේරුම් ගෙන ඇත්තෙමු. එමගින් අපේ ස්වාභාවික උරුමය අනාගත පරම්පරා උදෙසා සුරක්ෂිත වනු ඇති බව අපගේ අවබෝධයයි.

අපේ පක්ෂය කැපවන්නේ සෑම පුරවැසියෙකුම සවිබලගැන්වෙන විස්තීර්ණ සමාජ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම වෙනුවෙනි. එහිදී විශේෂයෙන්ම වරප්‍රසාද නොලත් හා නොතකා හැර ඇති සමාජ කොටස් කෙරෙහි අවධානය යොමුවනු ඇත. අපේ අරමුණ පුරවැසියන් තුළ ආත්ම විශ්වාසය ඇතිකිරීමය. ඔවුන් සහනාධාර මත යැපෙන්නා වූ මානසිකත්වයෙන් ගලවා ගැනීමය. එමෙන්ම ප්‍රජා සහායද ඇතිව ස්වශක්තියෙන් නගාසිටුවීමය.

ගෝලීය තලයේදී අප වෑයම් කරන්නේ ලොවපුරා රටවල් සමග බැඳීම් සමබරව පවත්වා ගැනීමටත් රාජ්‍ය තාන්ත්‍රිකත්ව සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් වාසිසහගත වන අයුරින් හා වර්ධනය කරගනිමින් පවත්වා ගැනීමටය. එහිදී රටක් ලෙස අපගේ භූගෝලීය පිහිටීමට ඇති උපායමාර්ගික වැදගත්කම අපි තේරුම් ගෙන ඇත්තෙමු. අපේ කලාපීය හා ගෝලීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධතා ගෙඩනගාගැනීමේදී අප තවදුරටත් කැපවන්නේ ජාතික අභිලාෂයන්ට ප්‍රමුඛත්වයක් දෙන අතරම මධ්‍යස්ථ සම්බන්ධතා පවත්වාගැනීම කෙරෙහිය.

හරයාත්මක වශයෙන් අප අපේක්ෂා කරන්නේ නවෝත්පාදනයෙන් බලගැන්වෙන, තම මෙහෙවර සහ ඊට ඇති ගරුත්වයෙන් බැඳුණු ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනැගීමට සහ සාධාරණත්වයේ මූලධර්ම ධරණීයබව සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය වෙනුවෙන් කැපවීමටය.

අපේ අවසන් ඉලක්කය වන්නේ ආර්ථික වශයෙන් සක්‍රියව නගා සිටවූ සමාජ සාධාරණත්වයෙන් යුතු, පාරිසරිකව වගකීම් සහගත මෙන්ම ගෝලීයව බැඳුනු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමයි.

MJP කණ්ඩායම සමග එක්වීම

පුද්ගලික තොරතුරු